Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ නැවත වෙනසක්

Loading...

 එළබෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරය සඳහා කණ්ඩායම් නායකත්වයේ නැවත වෙනසක් සිදු වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි20 නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සැප්තැම්බර් 27 දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරයට සහභාගීවීමට අකමැත්ත පළ කිරීමත් සමග එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට සහ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදීමට ක්‍රිකට් බලධාරින් තීරණය කරන ලදි.

කෙසේ වෙතත්, නායකත්වය සම්බන්ධයෙන් තිරිමාන්න කොළඹ සිට දුරකථනයෙන් බංග්ලාදේශයේ www.bdcrictime.com වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුනේ තමන් වෙත පිරිනැමුණු නායකත්වය පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන තරඟ 3 කට පමණක් සීමා වන බවයි.

දිමුත් කරුණරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙස ඉතා ප්‍රමුඛ කර්තව්‍යක් ඉටු කරමින් සිටින බව තිරිමාන්න වැඩි දුරටත් එහිදී අවධාරණය කර ඇත.

පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කළ දිමුත්, මාලිංග, සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක‍්‍රීඩකයන් 10 දෙනා හට එළබෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් ඇති බවට මින් පෙර වාර්තා වුවද තේරීම් කමිටු සභපතිවරයා මෙන්ම කණ්ඩායමේ කළමනාකරුද වන අසන්ත ද මෙල් පාකිස්තාන සංචාරයට සහභාගි නොවීම හේතුවෙන් එම තත්වය වෙනස් වනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ (SLC) අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ පාකිස්තාන සංචාරයට සහභාගි වන තරුණ ක‍්‍රීඩකයන් දස්කම් දැක්වුවහොත් ඔවුන්ට අඛණ්ඩව අවස්ථාව ලබාදීමට අවධානය යොමු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *