Loading...

ක්‍රිකට් ගොඩගන්න එන යෝජනාවලියේ හෙට දවස

Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට කතාබහක් ඇති වූයේ මීට කලකට පෙර සිටය. හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් මේ සඳහා දිගින් දිගටම හඬ නැගුහ. ඒ අතර සංගා, මහේල, රොෂාන් මහානාම සහ හිටපු අතුරු පාලන කමිටු සභාපති සිදත් වෙත්තිමුණිගේ අදහස් අනුව සකස් කරන ලද ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක වෙත බාරදී තිබේ. වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රවීණයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුතු යැයි කළ කිසිදු යෝජනාවක් ක්‍රියාවට නැංවීමට බලධාරීන් උනන්දු නොවුහ.

මහේල ජයවර්ධන මීට වසර දෙකකට පෙර එනම් 2017 දි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහය වෙනස් කිරීම සඳහා පැවැති කතිකාවකට එක් වීමෙන් අනතුරුව පැවැසුවේ මෙවැනි දෙයකට තමන් අත ගසන අවසන් අවස්ථාව බවයි. මහේල එහිදී වැඩිදුරටත් පැවැසුවේ තමන් ඉදිරිපත් කළ කිසිඳු යෝජනාවලියකට බලධාරීන් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක් වූ බවයි. ඒ අනුව මහේලගේ මුල් යෝජනාවලිය නිකම්ම කුණු කූඩයට වැටුණි. ක්‍රීඩා අමාත්‍යවරයා එම තනතුර බාර ගැනීමෙන් අනතුරුව නැවතත් හිටපු ප්‍රවීණයන් කැඳවා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවත පණ ගැන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ අතර, ඒ අනුව නැවත ලබා ගත් නව යෝජනාවලිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දෙන ලදී. මෙහිදී හිටපු අතුරු පාලන කමිටු සභාපති සිදත් වෙත්තිමුණි සහ රොෂාන් මහානාමගේ වාර්තාව මෙන්ම, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කරන ලද සංගා, මහේල සහ අරවින්ද ද සිල්වාගේ ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුමේ ඇතුළත් සැලසුම්ද මෙහිදී පාදක කර ගනිමින් මේ නව ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නව යෝජනාවලිය සකසා තිබේ. මෙවර නව සංශෝධිත යෝජනාවලිය පාර්ලිමේන්තුව තුළ වාද විවාද කරමින් බහුතරයේ කැමැත්ත පරිදි නීතිගත කිරීම තමාගේ අපේක්ෂාව සහ අරමුණ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

සිදත් සහ රොෂාන් මහානාම සකස් කරන ලද නව යෝජනාවලිය නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා සංකල්ප ප්‍රකාශය ලෙසය. ඔවුන් මෙහිදී මූලිකවම පෙන්වා දෙන්නේ ක්‍රීඩා සමාජ 85 ක් සතු ඡන්ද 147 හරහා පාලනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහය සම්පුර්ණයෙන්ම වෙනස් කළ යුතුය යන්නයි. මෙකි ඡන්ද 147 නිලවරණයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරන බවත්, ඒ නිසාම ක්‍රිකට් දියුණු කිරීම සඳහා සුදුසු පුද්ගලයන් වෙනුවට වෙනත් අය මේ තුළින් පත්වන බවද පෙන්වා දෙයි.

රොෂාන් සහ සිදත් පමණක් නොව, තවත් බොහෝ දෙනකුද මේ බව පෙන්වා දී තිබේ. මේ සඳහා තරගකාරි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අයට පමණක් ඡන්ද බලය හිමිවිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති. අද වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයකට ඡන්ද හිමි ප්‍රමාණය 147 ක් වුවද, පාකිස්තානයේ 17ක්, එංගලන්තයේ 18ක්, ඔස්ට්‍රේලියාවේ 22ක්, ඉන්දියාවේ 42ක් බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

සංගා, මහේල, අරවින්ද ප්‍රමුඛ පිරිස විසින් බාර දී ඇති යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉහළ මණ්ඩලයක් මගින් සිදු විය යුතු බව පෙන්වා දෙති. මෙකී ඉහළ මණ්ඩලය පාර්ලිමේන්තුව මගින් සංස්ථා ගත කිරීම, ප්‍රමුඛ සාමාජිකයන් පාර්ලිමේන්තුව විසින් පත් කිරීම හෝ එකි සාමාජිකයින්ගේ නිර්ණායක තීරණය කළ යුතු බව වැඩි දුරටත් සඳහන්ය. එමෙන්ම දැනට ක්‍රිකට් සඳහා සම්බන්ධ නැති පුද්ගලයන් පස් දෙනෙකුගෙන් සමන්විත, ස්වාධීන මණ්ඩලයක් පත් කළ යුතු බවද එහි වැඩිදුරටත් සඳහන්ය. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ ප්‍රධාන විධායක, ප්‍රධාන මුල්‍ය, ප්‍රධාන නීති, ප්‍රධාන අලෙවි, ප්‍රධාන මෙහෙයුම් (අධ්‍යක්ෂ), ක්‍රිකට් කමිටුව සහ ආචාර ධර්ම, විනය හා දූෂණ මැඩලී‍මේ කමිටුව වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා සාමාජිකයන් පත් කිරීම මෙකී ඉහළ කමිටුවේ කාර්යය විය යුතු බවත්ය.

මෙකී සාමාජිකයන්ට අමතරව නිලවරණයෙන් පත්වන විධායක කමිටුවක් සහ ක්‍රිකට් සම්බන්ධයෙන් තීරණ ගැනීමට හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම අත්‍යවශ්‍ය බව ද සංගා, මහේල සහ අරවින්ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කරන ලද මෙකී කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ හේමක අමරසූරියයි. අනුර තෙන්නකෝන්ද මෙකි කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළේය. මහේල මුල්වරට මෙවන් යෝජනාවක් බාර දුන‍්නේ 2015 එවකට අතුරු කමිටු සභාපති ධූරය දැරු සිදත් වෙත්තිමුණිගේ ඉල්ලීමකට අනුවය. නමුත් එකි සැලසුම ක්‍රියාත්මක නොවු අතර එහිදී මහේල අවධාරණය කළේ මෙය තමන්ගේ අවසන් උත්සාහය බවත්, මෙය ක්‍රියාත්මක නොවන්නේ නම් නැවත නැවත මේ වෙනුවෙන් උත්සාහ කිරීම, වෙහෙසීම තමන්ටත් අපහසු බවයි. සංගා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රිකට් පිරිහීමට පැලැස්තර වලින් විසඳුමක් නොලැබෙන බවත් ඒ වෙනුවට දිගුකාලීන සැලසුමක් ක්‍රියාත්මක කිරීම වඩා උචිත බවත්ය. අපි මෙහිදී කටයුතු කළ යුත්තේ තරුණ පරපුරේ හෙට දවස වෙනුවෙන් බව අරවින්ද එහිදී කියා සිටියේය.

මේ අතර හිටපු තවත් ක්‍රීඩා අමාත්‍යවරයකු වූ ෆයිසර් මුස්තාපා ද සංගා, මහේල, මුරලි, රොෂාන් සහ අරවින්දට ආරාධනයක් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට උපදේශකවරු ලෙස දායකත්වය දක්වන ලෙසය. එහිදී ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉවත දැමීමයි. එකී ප්‍රතික්ෂේප කිරීම තුළින් පැහැදිලි වූයේ මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමේ සහ ජරා ජීර්ණ වීමේ ප්‍රමාණය බව බොහෝ ප්‍රවීණයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

මෙහිදී මහේල ප්‍රකාශ කළේ මේ ඉල්ලීම පිළිබඳ තමන්ට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි. එමෙන්ම මහේල වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැඩකට කාලය කා දැමීමට අප භාවිතා නොකරන ලෙසය. සංගා එහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට නම් ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනතට අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම අනිවාර්යය බවයි. එමෙන්ම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහාය ඇතිව මෙය ක්‍රියාත්මක කළ යුතු බවද සංගා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

රොෂාන් මහානාම එහිදී ඕනෑම ආකාරයක දේශපාලන මැදිහත් වීම්, අවංක නොවීම, විනිවිදභාවයකින් කටයුතු නොකිරීම තමන් අතිශයින්ම පිළිකුල් සහගතව බැහැර කරන බව පෙන්වා මේ තත්ත්වය සම්පූර්ණයෙන් තුරන් කිරීමට පියවර ගන්නා දැරු තමන්ගේ ප්‍රතිපත්ති හමුවේම කටයුතු කරන බව පෙන්වා දුන්නේය. මුරලි මෙන්ම අරවින්ද ද සිල්වා ද එහිදී පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහය වෙනස් නොවන්නේ නම් තම දායකත්වය පල රහිත බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ බැඳුණු නිලවරණ ක්‍රමය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇවැසි දිගු කාලීන වෙනස්කම් කළ හැකි ද යන්න තමන්ට ගැටලුවක් බව පසුගියදා එක්දින ක්‍රිකට් දිවියට සමුදුන් ලසිත් මාලිංග පවසයි. මේ තියෙන ඡන්ද ක්‍රමයත් එක්ක දිගු කාලීන යෝජනා ඉටු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. මම අවුරුදු 6- 7 ක ඉදලා යෝජනා කරන සරල සහ පොඩි පොඩි දේවල් තියෙනවා. ශ්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් ප්‍රමාණය අඩු කර ශක්තිමත් පළාත් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට සංගා, මහේල, අරවින්ද කළ යෝජනාව ඉටු කළ හැකි නම් එය ඉතාමත් හොඳ බවද මාලිංග පෙන්වා දෙයි. මේ වගේ දේවල් කරන්න බැරි නම් කෙටි කාලීන විසඳුම්වලට යන්න ඕනෑ. අපට කරන්න පුළුවන් කෙටි දේවල් තියාගෙන දිගු කාලීනව කරන්න තියෙන දේවල් ගැන හිතුවොත් එය ප්‍රායෝගික නොවන බව ද මාලිංග වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ සියලුම කතිකාවන් අතර මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජය ගත් සභාපති ශම්මි සිල්වා වැඩ බාර ගනිමින් ප්‍රකාශ කළේ හිටපු ක්‍රීඩකයන් පැමිණ ක්‍රිකට් ආයතනයට අත පොවන එකම රට ශ්‍රී ලංකාව බවය. මෙකී ප්‍රකාශයද ඒ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කරුණක් විය. ශම්මි සිල්වා මෙකී ප්‍රකාශය කළේ සංගා, මහේල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොමු කර තිබූ සැලසුම ගැන කළ විමසීමකදීය. මුලින්ම අපේ රටේ පවතින ක්‍රිකට් ව්‍යුහය බලන්න ඕනෑ. ඉන්දියාව හරි ඔස්ට්‍රේලියාව යන රටවල තියෙන ව්‍යුහයන් හොඳයි කියන්න බෑ. අපිට තියෙන්නේ අපේ ර‍ටට ගැළපෙන ව්‍යූහයක්. ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් හා අවසන් මහා තරගවලට ආවේ මේ ක්‍රිකට් ව්‍යුහයන් නිසයි. අවුරුදු සියයකට වඩා පරණ ව්‍යුහයක් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. කවුරුවත් ඇවිත් මේක එක පාරට වෙනස් කරන්න කිව්වට ඒක බලන්න වෙනවා. ඉන්දියාවේ ගවස්කාර්, සචින්, කපිල් දේව් වගේ අය ඔවුන්ගේ පාලක මණ්ඩලවලට ඇඟිලි ගහන්න යන්නේ නෑ. අපේ රටේ ක්‍රීඩකයෝ විතරයි මෙහෙම හැම දෙයකටම ඇඟිලි ගහන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නම් ගොඩක් බව පමණක් ප්‍රකාශ කළේ ක්‍රිකට් ලෝක කුසලානය ඇරැඹීමට පෙරය. ලෝක කුසලානය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ලෝක කුසලානයට ගියේ හොඳම 15 දෙනා නොවන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවසේ හෝ දියුණුවක් දකින්නට නම් කාබාසිනියා කාරයන්ගෙන් පැහැදිලිවම මෙය මුදාගත යුතුව තිබේ. පසුගියදා සිම්බාබ්වේ ක්‍රිකට් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තහනම් කරන්නේ ඇයි දැයි විමසා බැලීම වටියි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීමට ක්‍රීඩකයන් පමණක් නොව, එහි මුල්ද බලපාන බවට සාධක ඇවැසි නැත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මාස 44කට පසු මවුබිමේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට මෙවර සමත්විය. බංග්ලාදේශ සමඟ පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ලෙස ජය ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙකි තරගාවලි ජයග්‍රහණයට පෙර අවසන්වරට මෙරට දී තරගාවලියක් ජය ගෙන තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවය. ඒ 2015 නොවැම්බර් මාසයේදීය. තරග තුනකින් සමන්විත වූ එකී තරගාවලිය 3-0 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය ය‍ටතේය. ඒ අතර 2017 දී බංග්ලාදේශය සමඟ පැවති තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට සමත්විය. ඒ අතර සිම්බාබ්වේ හමුවේ 3-2ක් ලෙස ශ්‍රී ලංකාව මෙරටේ දී පරාජය වීම කිසිසේත්ම බැහැර කළ හැකි කරුණක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *