ක්‍රිඩකයින්ට සුපුරුදු දස්කම් දැක්විමට ආගමකින් ලැබෙන ආධ්‍යාත්මික බලය

Loading...

 

ක්‍රීඩකයෝ සහ දෙවියෝ –

නිරෝෂන් දික්වැල්ල, පන්දුවෙන් පන්දුවට කුරුසය ගසන්නේය…
නමුත් ඔහුට පන්දු පනහකට වඩා කුරුසය ගැසීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්‍ය.
දේව කැමැත්ත ඒ ලෙසය..

සුරංග ලක්මාල්, සුරයක් දමාගෙන පන්දු යවන්නේය…
සමහර දින වලදී ඔහුට කඩුලු ලැබෙන්නේය… ඒ සුරයේ බල වැඩි දිනවලටය..
සමහර දිනවලට එකදු කඩුල්ලක් හෝ නොලැබෙන්නේය..
ඒ සුරයේ බල බිඳුනු දිනවලටය..

ඇන්ජලෝ මැතිව්ස්, තමන් නායකත්වය දරද්දි දෙවියන් වහන්සේ ලබාදුන් සහයෝගය සහ ජයග්‍රහණ ගැන ප්‍රසිද්ධියේම කියා ඇත…
නමුත් වැඩි කාලයක් නායකකම් කිරීමට ඔහුට අවස්ථාව ලැබුනේ නැත…
දේව කැමැත්ත ඒ ලෙසය..

දිනේෂ් චන්දිමාල්, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පවා ගංගා මෑණිගෙන් ඔහුට ලැබෙන ආශිර්වාද ගැන පවසා ඇත…
පකිස්තානයට එරෙහිව ලැබූ ජය, ගංගා මෑණියන්ගේය…
නමුත් ඉන්දියාව ඉදිරියේ ඇය අසරණය..
ඒ ගංගාගේ දේවෝත්තමයාණන්ගේ කැමැත්තය..

පකිස්ථානයේ ක්‍රීඩකයෝ පුදුම ඇදහිලිවන්තයෝය…
ඔවුන් ජයගන්නා සියලු තරඟ වලට,
අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේය..
ඔවුන් පරාජය වන තරඟ වලට
අල්ලා දෙවියන් සම්බන්ධ නැත..
ක්‍රිස්තු භක්තිකයෙකු වූ යූසුෆ් යොහානා, පසුකලෙක ඉස්ලාම් භක්තිකයෙකු වීමෙන් පසු කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවා බවට පත්විය..

තිලකරත්න ඩිල්ෂාන්, කණ්ඩායමට පැමිණි මුල්සමයේ ඉස්ලාම් භක්තිකයෙකු විය..
නමුත්, පසුකලෙක ඔහු බෞද්ධයෙකු බවට පත්විය.. දානමාන පිංකම් වලට සහභාගි විය.. කාලයත් සමඟ ලකුණු අතරට පැමිණ දක්ෂතා පෙන්වන්නට විය…
අල්ලාගෙන් නොලැබුනු ආශිර්වාදයක්, කුමන හෝ බෝධියකින් ඔහුට ලැබෙන්නට ඇත..

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස තිසර පෙරේරා පත්ව ඇත..
පන්දු යැවිමට බාරගත් සැනින් කුරුසය ලකුණු කරන ඔහු, නායකත්වය බාර ගත් සැනින් සාංඝික දානයක් පවත්වා ඇත…
දෙවියන්ටත් වඩා, මේ රටේ අධිපති මතවාදය ගැන තිසරට ඇති අවබෝධය ලබාදුන් දෙවියන්ට ස්තූති කළ යුතුය…

ක්‍රිකට් ජයග්‍රහණ ගැන කිසිදු බලාපොරොත්තුවක් නැති සමයක,
තිලංගට සහ දයාසිරිට යෝජනාවක් කිරිමට කැමතිය…
කුඩා ප්‍රමාණයෙන් හෝ යාච්ඣා කුටි‍යක්, ධාතු මන්දිරයක්, ගංගා මෑනියන්ට කාමරයක්, කෝවිලක්, හක්ගෙඩියාට මංජුලට සහ ආසිරිට ඒකාබද්ධ කුටියක් යනාදී ලෙස,
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැඳෙන ක්‍රීඩාගාරය අසලින් ඉදිකර ඔවුන්ට අවශ්‍ය ආධ්‍යාත්මික බලය ලබාගැනීමට උපකාර කළ යුතුය!

ප.ලි – මේ මොහොතේ ලංකාවට එරෙහිව ලකුණු සුනාමියක් එවමින් සිටින විරාට් කෝලි නිරාගමිකයෙකු නොවේ..
ඔහු තම ආගමික වතාවත් වල යෙදෙන ඡායාරූප ද අන්තර්ජාලයේ හිඟ නොවේ…
නමුත්, ඔහු කිසිවිටෙක ආගම ක්‍රීඩාපිටිය මැදට ගෙන එන්නේ නැත..
තම දක්ෂතාවයෙන් රැස්කරන ලකුණු හෝ ලබාගන්නා ජයග්‍රහන, වෙනත් බලවේගයක ගිණුමට ප්‍රසිද්ධියේ බැර කරන්නේද නැත…
ඔහු සමස්ථ ඉන්දියානුවන්ගේම ආදරය ලැබීම, තම ආගමට හෝ විශ්වාසයන්ට වහල්කම් කරන්නට ගොස් නැති කරගන්නේ නැත!

මේ සටහන,
කෝලිගේ භාවිතාව තේරෙන උන්ටය…
නොතේරෙන උන්ට අයින් වෙලා පයින් යන්නට හැකිය!

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *