ක්‍රිකට් තරග නැරබිමට ප්‍රේක්‍ෂකයින් උවමනා කර තිබේ

Loading...

ප්‍රේක්ෂකයින් උවමනා කර තිබේ..

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීම ඇරඹුණි..
එක එල්ලේ ඇඟිල්ල දිගු වූයේ මැනේජ්මන්ට් එකටය.. (සාමාන්‍යයෙන් පළමුවෙනි ඇඟිල්ල දිගුවන්නේ ඔවුන්ටය.. ඒ ඔවුන් වපුරා ඇති දෙයින් ලැබෙන අස්වැන්න ය.)
සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේමියා ට කවුරුන් හෝ ඇමක් දුන් සැනින් වළඳන්නේ ඉතාම ප්‍රීතියකිනි..
ජාතිකත්වය ඉස්මතු වුණේය..

“අපේ උන්ව අපිට වටින්නේ නෑ..
දැන් බලන්න හතුරුසිංහ..
එයා අර කබ්බ බංගලි ටීම් එක මාර ටීම් එකක් කලානේ..
එයා මෙහෙ ඉද්දිනේ අපි එයාව එලෙව්වේ…
අපරාදෙනේ.. කීයක් දුන්නත් මොකද අපේ එකානේ”

මාධ්‍ය යයි කියාගන්නා මාධ්‍ය සහ “සමාජ මාධ්‍ය” හතුරුසිංහ ඉල්ලුවේ ඔහු සිතූ පැතූ සම්පත් ලබා දෙන කප්රුකක් සේ සලකා ය..
හතුරු අවස්ථාවේ තමාගේ වෘත්තීය වාසිය ලෙසටම ලබාගත්තේ ය..
වැටුපේ පටන් අත්‍යාවශ්‍ය සියලුම පහසුකම් සහිත කොන්ත්‍රාත්තුවක් ලබා ගත්තේය..

තමන්ගේ ඇඟට ආ කුණුගොඩ ලොකු කුට්ටියක් ලබා දී ඉවතට දැමීමට එවකට කළමනාකාරිත්වය ඉතාම කපටි විය..
වෙනකක් තබා ක්‍රිකට් ප්‍රේමියාගේ වීර සංගක්කාර මැතිතුමා ද හතුරුගේ ගුණ වැයීම ද පනින රිලවුන්ට ඉනිමං මෙන් විය..

එක අතකට සිතන විට බිලිවීමට සහ තම වෘත්තිමය දිවිය බිලිදීමට හතුරු ගේ ලන්සුව මදිදැයි කියා ද සිතේ…

අවුරුදු කිහිපයක් ගත වන විට හතුරුගේ නුගුණ පෙනෙන්නට විය.. සමහරෙකුට ඔහු හිට්ලර් විය..සමහරෙකුට ඔහු ආගමික අන්තවාදියෙකු විය.. සහමරෙකුට ඔහු නිකමෙකු විය.. එදා දේව දූතයා මෙදා එකී මෙකී නොකී සියලුම නුගුණ සහිත දේවදත්තයෙකු විය..
නියමිත කාලයට පෙර ඔහුව ඉවත් කරවීමට නීති උපදෙස් ද සෙවීමට සිදු වූ තැනටම තත්වය බරපතල වූ බව වාර්තා විය..
කණ්ඩායම දස්කම් නොදැක්වුව ද නීතියේ පිහිටෙන් හතුරු තවමත් පුහුණුකරුවා ය…

කණ්ඩායම පරදින විට හතුරු සහ සමහර ක්‍රීඩකයින් ඉලක්ක කොට දැවැන්ත මාධ්‍ය ප්‍රහාර නිකුත් විය..
ඒ අතර විටින් විට ක්‍රීඩා ඇමතිවරුන් ද මාරු විය..
වර්තමාන ක්‍රීඩා ඇමති ට සෘජුවම ක්‍රිකට් ඇමති වන්නට වූයේ මෙවන් පසුබිමක ය..
ඔහු ඇමති වූ විගස තිසර පෙරේරා නායකකම ඉල්ලගෙන ඔහුව මුණගැසුණු බව වහෙන් ඔරෝ ලෙස මාලිංගගේ බිරිඳ එලියට දැමීම හේතුවෙන් ක්‍රිකට් ලිඳ ළඟ සංගමේ මෙන් විය..මාලිංග ඉවත් කරන ලෙස තිසර ක්‍රිකට් ආයතනයට (මා නිවැරදි නම්) ලිපියක් ලිව්වේය..
කණ්ඩායමේ සීනියර් යයි කියාගන්නා ක්‍රීඩකයින් ( ඇන්ජි,මාලිංග,චන්දිමාල්,දික්වැල්ල,තිසර විය යුතුය) නායකත්වයට කුලල් කාගන්නා බවට gossip web site කණ්ඩායම පතුරු ගැහුවේය..

මේ සියල්ල අතර අපි ඉඳලා හිටලාවත් තරඟයක් දිනාගන්නට බැරි කණ්ඩායමක් විය…

දකුණු අප්‍රිකානු සංචාරය එන්නේ මේ අතර ය..
චන්දිමාල් ව කැපුවේය.. domestic ගහන්නට දැම්මේය..
දිමුත් නායකත්වයට පත් විය..
මේ සියල්ල නව තේරීම් කමිටුව (අසන්තා ද මැල් ප්‍රමුඛ) ගන්නා ලද තීරණ ය..
ඇන්ජෙලෝ කැපුවේය.. අලුත් කිහිපදෙනෙකු සමග දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරඟ දෙකක් ගැහුවේය…
දිනුවේය.. වාර්තාගත ලෙස දිනුවේය…

කණ්ඩායම පතුරු ගැසූ මාධ්‍ය,ජඩ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලට කරකියාගන්නට දෙයක් නැතිව පැය දෙක තුනක් දත කට විකාගෙන ඉන්නට ඉඩ දුන්නේ නැත.. සුරංග ලක්මාල් ගේ කැරි වීඩියෝව එලියට ආවේය.. දිනපු ආතල් එකවත් නැති විය.. කුසල් ඒ අස්සේ ගැහුවේ coach නිසා යයි කියූ දේට ජීවිතේට ක්‍රීඩාවක් තියා බට්ටා පැනලාවත් නැති උන්ට ඌයියා විය.. dressing room එකේ කතා කල දේ එලියට ඇවිත් කණ්ඩායම නැවත පජාත විය..
එම වීඩියෝව සමාජ ජාලා වලට යැවූ හිටපු පුහුණුකරු ( තිලාන් සමරවීර විය යුතුය.) ගැන කුමක් සිදු වුවා දැයි කතාවක් වත් නැත..

සැබවින්ම රටට කණ්ඩායමට ආදරය කරන්නන් නම් අපට තිබුනේ වාර්තාගත තරඟාවලි ජයග්‍රහණයක් අබිමුව සිටින කණ්ඩායම සියලු තරහ මරහ පැත්තක දමා back කිරීමය.. අවාසනාවට වගකිවයුතු මාධ්‍ය හෝ දේශප්‍රේමී ක්‍රීඩා රසිකයා ට එය මග හැරුණු අතර අප වෙනුවෙන් ඒ වගකීම ඉටුකළේ හරීන් ප්‍රනාන්දු ඇමති තුමාය.. (දයාසිරි හෝ මුස්තාපා ඇමති ව සිටියානම් …… ඔබම හිතන්න..)

දිමුත් ප්‍රමුක කණ්ඩායම තරඟ දෙකම දිනුවේය… ලෝක පුජිත මුරලි,අර්ජුන,අරවින්ද,වාස්,සංගා,මහේල ලා ට බැරිවුණ දස්කමක් දිමුත් ප්‍රමුක තරුණ කණ්ඩායම කළේය.. ඒකත් එදා මෙදා තුර ලෝකයේ පහලවූ දරුණුතම වේග පන්දු බලඇණියකට එරෙහිව ය..
එහි සතුට අපරිණත නමුත් දක්ෂ කුසල් මෙන්ඩිස් මයික් එක අරගෙන සිංහලෙන් කල කතාව නිසා නැති විය…
වාසනාවකට… I repeat වාසනාවකට, පරිණත රුමේෂ් රත්නායකයන් ලෝකය ඉදිරියේ අපව රැක්කේ ය..

දැන් අපි එක්දින තරඟාවලිය සුපුරුදු ලෙස පරදිමින් සිටී.. දැවැන්ත දකුණු අප්‍රිකානුවන් ට එරෙහිව ඔවුන්ගේ රටේ තරඟාවලියක් දිනාගැනීම ලේසි පහසු නැත..ඒත් ඇරියස් කවර් කරගන්නා මීඩියා කාරයෝ, පේජ් කාරයෝ සහ “සමහර ක්‍රීඩක ලෝලීන්” නැවතත් ලොකු බරක් , පීඩනයක් කළමනාකාරීත්වයට දමමින් සිටී…

ඉතිහාසය නැවතත් රිපීට් වෙමින් පවතී…
මේ අවස්ථාවේ ද බෙල්ල බේරා ගැනීමට නම් බිල්ලක් අවශ්‍ය ය…
ඒ බිල්ල ගැන ඉඟියක් දෙකක් සෝෂල් මීඩියා වලින්ම හොයාගත් තේරීම් කමිටුව දැන් බිලි පුජාවට නැකත් හොයමින් සිටී…

අවසාන වරට 2015 දී තනිදින තරඟයක් ක්‍රීඩා කළ(එය ද වාසනාවට ලද අවස්ථාවකි) වර්තමානයේ ලංකාවේ සිටින දක්ෂතම ටෙස්ට් පිතිකරුවා, නායකයා ව කෙලින්ම කණ්ඩායම් නායකත්වයට පත් කර ලෝක කුසලානය ට සංචිතය නම් කිරීමට ඔවුන් අර අදිමින් සිටී..
එදා දේව දුතයා වූ හතුරුසිංහ මෙදා දේවදත්තයා වූයේ කෙසේද…
දිමුත් කරුණාරත්න ට ද එයම සිදුවීම ලංකාව නම් අරුම පුදුම රටේ නොවැලක්විය හැක්කකි…
මේ කණ්ඩායම සමග තරඟ දිනනවානම් එය හුදෙක්ම වාසනාවකි…

දිමුත් බිල්ලක් වනවාට කැමැත්තක් නැත..
මාලිංග සමග ද ගමනක් කණ්ඩායමට නැත..
නැවත චන්දිමාල් පැමිණියද ඇන්ජෙලෝ පැමිණියද වෙනසක් නැත…

කළමනාකාරීත්වය තමන්ගේ බෙල්ල වෙනුවෙන් තවකෙකුගේ බෙල්ල බිල්ලට දෙමින් සිටී…
හතුරුසිංහ තරම් ලන්සුවක් ඉල්ලන්නට දිමුත් ට බැරිය…
නමුත් ඔහුට ඉතාම දුර්ලබ,වටිනා අවස්තාවක් ලැබී ඇත..
ලෝක කුසලානයක රටක ජාතික කණ්ඩායම මෙහෙයවීමට ලැබීම ක්‍රීඩකයෙකුට ලෝක කුසලානයක් දිනුවා හා සමානය…
දිමුත් අපි ඔබට සුබ පතමු…
තරඟ සියල්ල දිනුවද පැරදුන ද අතලොස්සක් වූ සැබෑ ප්‍රේක්ෂකයින් ඔබට ආදරය කරනු ඇත…
පිස්සන් ඔබෙන් ආතල් ගනු ඇත…

2019 ලෝක කුසලානය අවසන් වන විට ද අප කණ්ඩායම ප්‍රශ්නයෙන් එලියට එනු ඇතැයි විස්වාසයක් නැත..හේතුව වෙනස් විය යුත්තේ නායකයා, කණ්ඩායම හෝ ක්‍රීඩකයින් හෝ පරිපාලනය හෝ වෙන මොකෙක්වත් නොව…වෙනස් විය යුත්තේ ආකල්ප බැවිනි..

වර්තමාන ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයා තරම් පහත්,නූගත්, සහ අවිචාරවත් ප්‍රේක්ෂක සමුහයක් ලෝකයේ කොහේවත් නැත.. ඔවුනට අවශ්‍ය එදා වේල ආතල් ගැනීමට මාතෘකාවක් පමණි.. කාගේ හෝ පිටට වරද දමා හිනා වීම පමණි.. ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්නයකි.. ප්‍රේක්ෂකයා ආකල්ප වර්ධනයකට නොයන තාක් කල් කපටි පරිපාලකයා ඔවුන්ගේ ආකල්ප වෙනස් කර නොගනියි.. මෝඩ ක්‍රීඩකයා ද එසේමය..

ඉතින්, ප්‍රේක්ෂකයා වෙනස් විය යුතුය..

කියන්නට ඇත්තේ…
ප්‍රේක්ෂකයන් උවමනා කර තිබේ…. කියා ය….

Pic credit : Sameera Peiris

https://www.facebook.com/groups/kalzicricket/?fref=nf

 

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *