ලොව ඉහළම තාක්ෂණය සහිත යන්ත්‍ර සූත්‍ර අපේ රටේදී හදන ගල්ගමුවේ විශිෂ්ටයා

Loading...

ලෝකය වෙනස් වන්නේ මිනිස්සුන්ගේ සිතිවිලිවලිනි. එවන් මිනිස්සු දුලබය. මිනිස්සු වෙනුවෙන් අලුත් ලෝකයක් හදන්නට කැපවුණු එවැනි මිනිස්සු මේ දූපතේත් වෙසෙති. මේ එවන් මිනිසෙකු සොයා ‘‘සිළුමිණ“ ගිය ගමනේ සටහනකි..

ඔහු කොලොම්පුරයෙන් වෙන් වූ මිනිසෙකි. වන්නියේ උපන් මිනිසෙකි. මහව විජයබා විද්‍යාලයෙන් අධ්‍යාපන ලද ඔහු ලෝකය දෙස කුහුලින් යුතුව විදුහුරු ඇසින් බැලූවෙකි. තාක්ෂණය සමග ලොව දිනන පැතුම ඔහුගේ හිතේ පැලපදියම් වූයේ බාල කාලයේ සිටමය. ඒ සීලෝන් කී මෑන් ප්‍රයිවට් ලිමිටඩ් බිහි වූයේ ඒ සිතුවිල්ලට අනුවය. ඔහු වජිර කීර්ති බණ්ඩාරය. මේ වජිර අපට කියන කතාවය.

‘‘මට උසස් පෙළ විභාගයට මුහුණ දීලා විශ්වවිද්‍යාලයට යන්න තරම් ලකුණු ප්‍රමාණයක් ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඒ නිසා මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කියන BIT කියන උපාධිය සම්පූර්ණ කළා. කුඩා කාලයේ ඉඳලම මට තිබුණ ආසාවක් තමයි තාක්ෂණය සම්බන්ධය ඉගෙන ගැනීම. ඒ අනුව මම ඒ උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් කිරීමේ අරමුණින් ආයතන දෙකක රැකියා සඳහා අයැදුම් කළා. ඊට පස්සේ මම උස්වත්ත ආයතනයේ තාක්ෂණික නිලධාරියෙක් විදිහට මගේ රැකියාව ආරම්භ කළා. ඇත්තටම මම උපාධිය සම්පූර්ණ කරන කාලයේ විශ්වවිද්‍යාලයේ ගත කළ කාලයට වඩා ගොඩක් හොඳ තැනක් විදිහට තමයි උස්වත්ත ආයතනය මට දැනුණේ.

ඒ රැකියාව කරද්දි විශාල දැනුම් සම්භාරයක් මම ලබා ගත්තා. ජීවිතේ අලුත් තාක්ෂණික ක්‍රමවේද ගණනාවක් මම ඒ කාලය තුළ ඉගෙන ගත්තා. අවුරුදු හතක් තාක්ෂණික නිලධාරියෙකු විදිහට උස්වත්ත ආයතනයේ රැකියාව කරලා ඉන් ඉවත් වුණත් මම අදටත් ඒ ආයතනයට ගරු කරනවා. ඒ ආයතනයේ රැකියාව කරද්දි තමා මට හිතුණේ තමන්ගේම ව්‍යාපාරයක් තිබුණා නම් හොඳයි කියලා. ඒ අනුව තමා 2009 අවුරුද්දෙ සීලෝන් කී මෑන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය ආරම්භ කළේ.“

‘‘උස්වත්ත ආයතනයේ සේවය කරද්දි මට හැකියාව ලැබුණා චීනයේ හැංෂායි නගරයේ තිබුණ තාක්ෂණික ප්‍රදර්ශනයක් නරඹන්න. ගොඩක් වෙලාවට චීන ජාතිකයෝ කරන්නෙ යුරෝපා රටවලට ගිහින් ඒ තියන තාක්ෂණය ගෙනැල්ලා යන්ත්‍ර සූත්‍ර නිපදවන එක. ඉතිං ඒ වෙලාවෙ තමා මට හිතුණේ ඇයි ඒ තාක්ෂණය පාවිච්චි කරලා අපිටත් එහෙම නිපදවීම් කරන්න බැරිද කියලා. ඒ අනුව තමා මම මේ නව නිපැයුම්වලට යොමු වුණේ. “

“පස්සෙ මම උස්වත්ත ආයතනයෙන් අයින් වෙලා යන්ත්‍ර සූත්‍ර නිපදවීම සම්බන්ධව තොරතුරු හොයන්න චීනයට ගියා. චීනයේ ගතකරපු කාලයේ දී මට එහෙ මිතුරෙක් මුණ ගැහුණා. ඔහු චීන රටේ මාසික පුහුණුවක් මට ලබා දුන්නා යන්ත්‍ර සූත්‍ර නිපදවීම ගැන. ඊට පස්සෙ 2010-2011 වගේ කාලයේ දී ආපහු ඉන්දියාවට ගිහින් මෙකට්‍රොනික් කියන තාක්ෂණය ගැන අධ්‍යනය කළා. පස්සෙ මමයි තවත් මිතුරෙකුයි එකතු වෙලා විදෙස් රටවලින් යන්ත්‍ර සූත්‍ර ගෙන්වලා මේ රටේ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. නමුත් ඒ ව්‍යාපාරයට වැඩි කැමැත්තක් මගේ හිතේ තිබුණෙ නෑ.

මේ වකවානුවෙදි ලසන්ත නිරෝෂණ කියන මිතුරා අන්තර්ජාලය ඔස්සෙ මට මුණගැහුණා. ඔහුත් ඒ වෙද්දි විදෙස් රටක තමා සේවය කළේ. අපි දෙන්නා තාක්ෂණය ගැන අධ්‍යයනය කරන අතරේ නව නිෂ්පාදයක් කිරීම සම්බන්ධයෙන් නිතරම කතා කළා. එකේ ප්‍රතිපලයක් විදිහට තමා ලංකාවේ ප්‍රථම වතාවට ස්වයංක්‍රී මුරුක්කු නිෂ්පාදන මැෂිම නිර්මාණය කළේ.

ඒ 2016 වසරේ අග භාගයේ විතර. මැෂිම හදලා අපි ඒකේ නව අත්හදා බැලීම් කරලා තව තවත් අඩුපාඩු සකස් කරලා දියුණු කළා. කොහොම හරි මුරුක්කු මැෂිම විශාල ලෙස ජනප්‍රිය වුණා. ලංකාවෙ හැම තැනකින්ම විශාල ඉල්ලුමක් ආවා. ඊට පස්සෙ තමයි අපි මේ වගේ නිර්මාණ කිරීම ආරම්භ කළේ.“

‘‘මම මුලින්ම හැදුව යන්ත්‍රයේ අපි භාවිතා කළේ සී.එන්.සී කියන තාක්ෂණය. මේ තාක්ෂණය හරහා තමා අපි අපේ හැම නිර්මාණයක්ම කරන්නෙ. මේ තාක්ෂණය අනුව හැකියාව තියනවා පරිගණකය සම්බන්ධ කරලා යන්ත්‍රය මෙහෙයවීම් සිදු කරන්න. මේ තාක්ෂණය ඉතාම දියුණු තාක්ෂණයක්. එමඟින් ඉතාම පහසුවෙන් යන්ත්‍රයක් ක්‍රියා කිරීමටත්, හැසිරවීමටත් හැකියාව ලැබෙනවා. අපේ මුරුක්කු සෑදීමේ යන්ත්‍රය ලංකාව පුරා ජනප්‍රිය වුණාට පස්සේ විශාල යන්ත්‍ර ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කළා.

ඒ වෙද්දිත් මුරුක්කු නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කළේ ඉන්දියාවෙන්. හැබැයි ඒ යන්ත්‍ර අරන් ටික කාලයකින් එන දෝෂ ප්‍රමාණය වැඩියි. අනික් කාරණාව තමා අලෙවියෙන් පසු සේවාවක් නොලැබීම. මේ හේතු නිසාත් අපේ යන්ත්‍රයේ තියන අධි ඉහළ ක්‍රියාකාරීත්වයත් නිසා අපේ යන්ත්‍රය බොහෝ දෙනෙක් භාවිතා කරන්න පටන් ගත්තා. නමුත් මගේ ආයතනයෙන් හැමදාම එකම යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සිදු කරන්නෙ නෑ. ඒකට හේතුව තමා ලංකාව වගේ පුංචි රටක ඉන්නෙ සීමා සහිත ජනගහනයක්. රට තුළ තියන වෙළඳපොළ ඇතුළේ හැමදාම මේ මැෂින් හදලා අලෙවි කරන්න බෑ. මොකද හැම කෙනාම මැෂින් ගන්නෙත් නෑ හැම කෙනොම මුරුක්කු නිෂ්පාදනය කරන්නෙත් නැති වීම නිසා.‘‘

‘‘මුරුක්කු නිෂ්පාදන යන්ත්‍රය නිපදවීම සිදු කළාට පස්සෙ මගේ අලුත් නිර්මාණය වුණේ ඉඳි ආප්ප නිෂ්පාදන යන්ත්‍රය. එක පියවර තුනක් යටතේ මම නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නෙ වරකට ඉදි ආප්ප 4 ක්, 9 ක් හා 12 ක් සාදා ගැනීමේ හැකියාව අනුව ඉදි ආප්ප මැෂින් තුනක් මම නිර්මාණය කරලා තියනවා. මේ මැෂින් වල ධාරිතාව අනුව පැයක් තුළ ඉදි ආප්ප 2000ක්, 3000ක් සහ 5500 ක් වගේ ප්‍රමාණයක් සෑදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමා මේ යන්ත්‍ර සඳහා විදුලිය වැයවෙන්නෙ ඉතාම අඩුවෙන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ නිෂ්පාදනය කරන හැම ආහාර පිසින යන්ත්‍රයක්ම සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් සහ එස්. එල්. එස්. ආයතනයේ ප්‍රමිති සහතිකය ඇතුව තමා සිදු කරන්නෙ. ඒ නිසා ආහාර තැවරෙන සියලුම කොටස් සදහා අපි භාවිතා කරන්නෙ එස්. එස්. 304 කියන යකඩ වර්ගය. ඒ නිසා ආහාරවලට කිසිදු හානියක් සිදු වෙන්නෙ නෑ. ඉදි ආප්ප සෑදීමේ යන්ත්‍රයෙන් පස්සෙ අපි යකඩ කපන යන්ත්‍රයකුත් වෙළෙඳපළට හඳුන්වා දීමට මේ වෙද්දි නිෂ්පාදනය කරගෙන යනවා. ඒක හඳුන්වන්නෙ ‘‘ප්ලස්මා කටර්“ නමින්.

 

මේ යන්ත්‍රයට අඩි 8×4 ප්‍රමාණයේ යකඩ ෂීට් එකක් ඇතුළු කරලා අවශ්‍ය හැඩය අනුව කපා ගැනීමේ හැකියාව තියනවා. ඒ වගේම තමා යන්ත්‍රයට ඇතුළු කරන යකඩ ෂීට් මිලි මීටර් 25 දක්වා ගනකම් ඒවා වුණාට ගැටලුවක් නෑ. මේ යන්ත්‍ර දෙකේම තියෙන්නෙත් සී.එන්.සී තාක්ෂණය. ප්ලස්මා කටර් එක මඟින් අපිට හැකියාව තියෙනවා ඉතාම අඩු කාලයක් තුළ වැඩි කැපීම් ප්‍රමාණයක් සිදු කරන්න. ඒ වගේම මේ යන්ත්‍රයෙන් ෂීට් කැපීමේ දී යකඩ අපතේ යන ප්‍රමාණය විශාල වශයෙන් අඩුයි.“

‘‘මේ හැම යන්ත්‍රයකම ඉලෙක්ට්‍රොනික උපාංග ඇසිරීමේ දී මම සහ නිරෝෂණ විශාල වශයෙන් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික උපංග මිලදී ගද්දි හොඳ සන්නාමයක් තියන ඒවා විතරයි අපි භාවිතා කරන්නෙ. ටික ටික ආයතනය දියුණු වෙද්දි මම මගේ ආයතනයට සේවකයන් හතර දෙනෙක් බඳවා ගත්තා. ඇත්තටම ඔවුන්ගෙන් සිදුවන්නෙ විශාල සේවයක්. මම නිර්මාණය දුන්නාම සැකිල්ල කිව්වාම ඒක නිපදවන්නෙ මගේ ආයතනයේ සේවකයන්. අනික අපි අපේ ගැනුම්කරුවන්ට ඉහළම සේවාවක් ලබා දෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගිහින් හරි දෝෂවලට ලක් වුණ යන්ත්‍ර සෑදීම ඒව යථාතත්තවයට පත් කිරීම අපි කරනවා. “

‘‘ ඇත්තටම මේ ව්‍යාපාරය තුළ වෙළද ලෝකය තුළ බලාපොරොත්තු වෙන අරමුණු කිහිපයක් තියනවා. අද වෙද්දිත් අපේ රටට අවශ්‍ය කරන, රටේ මිනිසුන්ට අවශ්‍ය කරන යන්ත්‍ර තවමත් ගේන්නෙ විදේශ රටවලින්. ඒවා ගෙනෙද්දි විශාල විදේශ විනිමයක් ඒ සඳහා වැය වෙනවා. විශේෂයෙන්ම බදු බර. මෙන්න මේ හේතුව නිසා තමා මම කල්පනා කරන්නෙ ගුණාත්මක බවින් උසස්, හොඳ පැවැත්මක් තියෙන යන්ත්‍ර නිෂ්පාදනය කරන්න. ඒත් අපි මේ ව්‍යාපාර කොතරම් හොඳට කරගෙන ගියත් මේ වගේ ව්‍යවසායකයන් ඉහළට මතු කරන්න කිසිදු වැඩපිළිවෙළක් සිදු කරන්නෙ නෑ. රාජ්‍ය අංශය වගේම පුද්ගලික අංශයත් රට තුළ ආර්ථික හසුරුවන්න විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා මේ වගේ ආයතන තෝරලා ඒවා වෙනුවෙන් රජයෙන් කළ හැකි යමක් තියනවනම් ඒවා ඉටුකරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.“

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *