මොකක්ද මේ පිදුරංගල කියන්නේ…???

Loading...

අධ්‍යාත්මයේ කැඩපත… ඓතිහාසික පිදුරංගල රජ මහ විහාරය…

සීගිරිය පර්වතයට උතුරු දෙසින් ඉතා රමණීය වූ ස්වාභාවික පරිසරයක පිදුරංගල රජ මහා විහාරය පිහිටා තිබෙයි. මෙය ඉතාම මනස්කාන්ත වූ පර්වතාරාමයකි.

සීගිරිය රාජධානිය ලෙස තෝරාගත් පළමුවන කාශ්‍යප හෙවත් සීගිරි කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 475 – 491) සීගිරි පර්වතය තම රාජධානිය ලෙස තෝරා ගැනෙන විට එය පැවැතියේ සංඝාරාමයක් වශයෙනි. එහි වැඩ වාසය කළ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් කාශ්‍යප රජතුමා කළ ආරාමය සීගිරි පර්වතයට සමීපයේ වූ පිදුරංගල පුණ්‍යභූමිය වෙයි.

අක්කර 13 ක් පුරා පැතුරුණු තෝතැන්නත් ඒ සමඟ නැඟී සිටි පර්වතය වටා පිහිටි ස්වාභාවික ලෙන් කුටි සමූහය ද උපයෝගී කර ගනිමින් භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සලසමින් මෙම බිමෙහි අංගසම්පූර්ණ ආරාමයක් ගොඩනැඟුණි. කෙටියෙන් පවසතොත් සීගිරි කාශ්‍යප රජතුමාගේ දායක පන්සල පිදුරංගල රජ මහා විහාරය යි.

පිදුරංගල ඉතිහාසය පිරික්‍ෂීමේදී රජතුමා විහාරාරාමයක් වශයෙන් සැකැසීමටත් ප්‍රථම එය යෝගාවචර භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් අරණ්‍ය සේනාසනයක් ලෙස පැවැති බව තහවුරු කරගත හැක. ක්‍රි.පූර්ව තුන්වන (මහින්දාගමනයට ශත වර්ශයකටත් පෙර) හා එක් වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන මගින් ඒ බව සනාථ වෙයි. පිදූ අරංගල, පිදු අරංගල, පිදුරංගල ලෙස ජනවහරට එක්ව තිබේ.

සීගිරියේ උතුරු දොරටුවට පිටතින් ‘නියියන්ති’ නම් වනයේ තමා හා තම දූ වරු දෙදෙනා නමින් විහාරයක් සෑද වූ බවත් එය ‘බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය’ හෙවත් ‘බෝ උපුල්වන් කසුප්ගිරි’ වෙහෙර යැයි විශ්වාස කෙරෙන අතර මහා වංශයේ සඳහන් වන ‘දළ වෙහෙර’ මෙය ම බවත් ශිලා ලේඛන අනුව තහවුරු කරගත හැකිය.

පිදුරංගල පංචාවාසික විහාර සංකීර්ණයකි. පුද බිමෙහි ඇති නටබුන් ඒ බවට සාක්‍ෂි දරයි. එහි ඇති ගල් කණු 45 ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලේ නටබුන් පැරණි උපෝෂථාඝාරය වෙයි. මෙය මුගලන් කුමරු කරවා මහානාම භික්‍ෂූන් වහන්සේ වෙත පිදූ බවත් ලක්බිම වංශකතාවේ ප්‍රමුඛ ඉතිහාස ග්‍රන්ථය වූ ‘මහාවංශය’ කොටසක් රචනා කරන ලද්දේ මෙතැනදී බවත් ජනප්‍රවාදගතව පවතියි.

මෙම උපෝෂථඝරයට නුදුරුව ඇති විශේෂිත ගෘහය පොහොය විනය කර්ම සිදුකළ සීමා මාලකය ලෙස සැලකෙයි. එම බිමේ ඇති පැරැණි දා ගැබ 1950 වසරේ දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අධීක්‍ෂණය යටතේ කැණීම් කර තිබේ. මෙම දාගැබෙහි විශ්කම්භය අඩි 50 කි. මාලකයේ සිට උස අඩි 16 කි. ස්තූපයේ ඉතා ක්‍රමානුකූලව සැකැසූ ධාතු ගර්භයක් පැවැති බවත් දිවයිනේ වෙනත් තැනකදී එතරම් ක්‍රමානුකූල ධාතු ගර්භයක් එතෙක් හමු නොවූ බවද සඳහන් වේ.

ශිෂ්ටාචාර ගත දේශයක පුරාවිද්‍යාත්මක කැණීම් ඔස්සේ සිදු කෙරෙන එක් කාර්යයක් වනුයේ ස්වර්ණමය ඉතිහාසයක වග තුග අනාගත පරපුර වෙත සන්නිවේදනය කිරීමේ උදාර වගකීම සපුරාලීමය. ඊට ප්‍රථමයෙන් බඩගෝස්තරවාදී නිදන් හොරුන්ගේ අසාධාරණ කැණීම් වලට නතු වූ මෙම ස්තූපයේ ඓතිහාසික සාධක අකාමකා ඉතිහාස පොතේ ස්වර්ණමය පරිච්ඡේද ඉරා දැමීමට තරම් මෙම අපාගත ක්‍රියා සහසික වී තිබේ.

පුරාවිද්‍යා කැණීම් වලදී නිදන් හොරුන්ට මඟහැරී ගිය බුදු පිළිම, දේවරූප, මැණික්, තඹ කරඬුවක කොටස් කාසි වර්ග සහ කිරි ගරුඬ පුවරු කීපයක කොටස් ද හමුවිය. බිම් මට්ටමේ කැණීමේ දී අඟුරු කැබැලි හමුවීම නිසා පරණවිතාන ශූරීන් මතයක් පල කර ඇත්තේ මෙම ස්තූපය විශේෂ ප්‍රභූවරයකු ආදාහනය කළ ස්ථානයක් විය හැකි බවය.

ඒ පිළිබඳව පිදුරංගල විහාරාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ ‘පිදුරංගල විහාරය’ නැමැති පොතේ මෙසේ සඳහන් කරති.

‘බොහෝ දුරට කාශ්‍යප රජුගේ ආදාහනය මෙහිදී සිදුවන්නට ඇත යන්න පරණවිතානයන්ගේ අදහසයි. එහෙත් පංචවාසික ආරාමයක් තුළ බුදු රූ ධාතු නිදන් කිරීම් ද සමග රහතුන් ද සිටි පින් බිමක භික්‍ෂූන් ප්‍රමුඛ සැදැහැතියන්ට වැඳුම් පිදුම් කිරීමට හැකිවන ලෙස මෙහි වෙහෙරක ස්වරූපයෙන් කාශ්‍යප සොහොන කළැයි පැවසීම ප්‍රඥාගෝචර නොවේ.’

උන්වහන්සේ තව දුරටත් පවසන්නේ ‘සෙනරත් පරණවිතානයන්ම පවසා ඇති සුවිශේෂී චෛත්‍යයක නිමැවුම් සහිත නිර්මාණයක් පීතෘ ඝාතක රජකු සඳහා මෙසේ සුවිශේෂත්වයක් කිරීම එකල පැවැති ආගමික පසුබිම තුළ ද සිතීම දුෂ්කරය. එහෙයින් පංචාවාස ආරාමයක ඇතුළත් සර්වඥ ධාතු ස්තූපය මෙයම ය යන්න සැලකීම වඩාත් සාධාරණ ය.’

මෙහි ඇති නටබුන් වූ බෝධිඝරය ද අලංකාර නිමැවුමකි. එය සතරැස් පරිශ්‍රයකි. සතර අතින් ප්‍රවේශ ද්වාර ඇත. මධ්‍යයේ ඇති කවය බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානය යි. වට පවුරක් ද පියසක් සඳහා ආධාර වූ ගල් කණු ද තිබේ.

පැරැණි පිළිමගෙය වඩාත් පුළුල් බිත්ති සහිත ය. සිවු දෙසින් දොරටු ද මැද කොටසේ පිළිම ගෙය වෙන් කර එයට ප්‍රවේශ දොරටුවක් ද ඇත. එහෙත් පැරැණි පිළිම අද දැක ගැනීමට නොමැත.

මෙහි ඇති නව විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ සහ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම දෙකත් හා හිටි පිළිම දෙකත් පෞරාණික පිළිම වහන්සේලා ය. පර්වතය වටා ඇති ලෙන් එදා භික්‍ෂුන් වහන්සේගේ සංඝාවාස විය. ලෙන් ලිපි සහිත හා රහිත කටාරම් ලකුණු ඇති ලෙන් 26 ක් මෙහි තිබෙයි.

පිදුරංගල පර්වත මුදුනෙහි නැගෙනහිර දෙසට සම්මුඛව පිහිටි ස්වාභාවික ලෙනෙහි නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙහි ඇති ප්‍රධාන අංගයකි. මැටි ගඩොල් හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇති ප්‍රතිමාව අඩි 49 1/2 ක් පමණ දිගය. මෙය ලොව ඇති පැරැණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැළකෙයි. පුරාවිද්‍යා විශිෂ්ටයින් වන එච්.සී.පී. බෙල් සහ පරණ විතානයන්ගේ මතයට අනුව පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව කියැවෙයි.

පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතයේ සිංහ පාදය ඇති ස්ථානයට හොඳින් දර්ශනය වන ආකාරයට ය.

කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බව ජන වහරේ කියැවෙයි. සතුරු ආක්‍රමණයන්ගෙන් සැඟැවී සිටීමට කාශ්‍යප රජතුමාට සිදු වූ නිසා තම රාජධානියේ සිට බුදුන් දකිමින් පුද පූජා පැවැත්වීමට මෙම පිළිම වහන්සේ නිමවන්නට ඇති බව මේ අනුව සිතා ගත හැකි ය.

පිදුරංගල ගිරි ශිඛරයේ මුදුන් ස්ථරයේ ඇති ඉතා දුෂ්කර ගිරි දුර්ගයකින් මෙහි ගිරග මතට පැමිණිය හැක. එහිදී දිස්වෙන සීගිරි පර්වතයේ මනස්කාන්ත දර්ශනය නෙතට රසඳුනකි. මුදුනත ඇති පරිසරය ස්වභාව ධර්මයේ ඉතා විචිත්‍රවත් නිර්මාණයකි.

මෙවන් වූ රමණීය පසුබිමක සැදූ සැතපෙන පිළිම වහන්සේ ද දසක ගණනාවකට පෙර නිදන් හොරුන්ගේ නරුම හස්තයට හසුව විනාශ විය. ප්‍රතිමාවේ සිරස සිට උදරය දක්වා කොටස සහ මුලින්ම විනාශ කිරීමට තරම් මනුෂ්‍ය ආත්මයක් ලැබූවද මෙම තිරිසනුන් කුරිරු වී ඇත.

එම නිසා ගැටුම් වියවුල් මධ්‍යයේ තම අධ්‍යාත්මික සුවය සැනසීම වෙනුවෙන් මහත් කැපවීමකින් නිම කළා වූ මෙම සම්බුද්ධ ප්‍රතිමාවේ මහා කරුණාවේ මුව කමල දැකීමට තරම් අපි අද අභාග්‍ය සම්පන්න වී හිඳිමු.

මෙම ඡායාරූපයෙන් අප දකින්නේ 2003 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිළිසකර කළ එම ඓතිහාසික වටිනාකමකින් අනූන, මරණ භය හමුවේද අපරිමිත වූ සැනසීමක් ළඟා කර දුන් පිදුරංගල ඓතිහාසික පිළිම වහන්සේගේ ශේෂ මාත්‍රයේ අනුවේදනීය ප්‍රතිරූපයයි.

පිදුරංගල ගිරග මතට පිවිසුනු මොහොතේ දී ඉතා ළයාන්විත ලෙස දර්ශනය වෙන සීගිරි ආලක මන්දාව පසුබිම වසා සිටින කාශ්‍යප රජතුමාගේ ප්‍රතිරූපය සිතෙහි ඇඳෙන සුළුය. ඒ තරමටම එම මනස්කාන්ත දර්ශනය අධ්‍යාත්මයේ සියුම් තැන් සංවේදී කිරීමට සමත් වෙයි. මේ අසිරිමත් දසුන ඔස්සේ ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ගේ ප්‍රකාශනයට නෙත් යොමු වෙයි.

කාශ්‍යපයන්ගේ පීතෘ ඝාතක කාර්ය යළි යළි අවධාරණය කරනවාට වඩා ඔහු තුළ වූ අධ්‍යාත්මයේ පසුබිම පිදුරංගලින් දකිමින් සීගිරියේ සෞන්දර්යය අත්විඳීම වඩාත් සාධාරණීය වේ. පිදුරංගල කාශ්‍යප රජතුමාගේ ආලක මන්දාවේ අධ්‍යාත්මික කැඩපතයි.

ජනක වෙත්තසිංහ
(බුදුසරණ, අන්තර්ජාල කලාපය)

 

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *