බුදු රජාණන් වහන්සේගේ සිරිපා ලකුණු පිහිටි ස්ථාන

Loading...

තවත් නොබෝ දිනකින් එළැඹෙන උඳුවප් පුන් පොහොයත් සමඟම ශ්‍රී පාද වන්දනා සමයද ඇරඹෙයි. කිරිකෝඩුකරුවන් මෙන්ම දඬුකෝඩුකරුවන්ද මේ වන විටද මේ වන්දනා සමයට සූදානමින් සිටිනු ඇත. මේ සිරිපා සමය වෙනුවෙන් තැබෙන වෙනස්ම සටහනකි.

ශ්‍රී පාදස්ථානය, සමනොළ කන්ද, සමන්තකූට, සුමණකූට, සමන්ගිර ආදි විවිධ පර්යාය නම්වලින් හඳුන්වනු ලබන සුවිශේෂ කඳු හිස රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාබද්දල ග්‍රාම නිලධාරි වසමට අයත්ව පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 7360ක් උසැති මේ ගිරිශිඛරය බැතිමතුන්ගේත්, පරිසරවේදීන්ගේත්, සෞන්දර්යකාමීන්ගේත් වැඩි අවධානයක් යොමු වී ඇති, වර්ෂයකට ලක්ෂ ගණනකගේ පාදර්ස්පර්ශය ලබන රටේ සතර දෙසටම දර්ශනය වන ස්ථානය ලෙස හඳුන්වාදිය හැකිය. එසේම රටේ ප්‍රධානම ජල මූලාශ්‍රය වන ගංගා බිහි වන්නේ සමනොළ කන්ද ආශ්‍රිත තෙත් වනාන්තර කලාපයෙනි. ප්‍රවාදයේ පැනෙන්නේ රටේ සිව් මහා ගංගා වූ මහවැලි, කැලණි, කළු සහ වලවේ ගංගා මෙපෙදෙස ආශ්‍රිතව උපදින බවය.

ලාංකේය ඉතිහාසය හැදෑරීමේ ප්‍රමුඛ මූලාශ්‍රය වන මහාවංශයේ පළමු පරිච්ඡේදයේදීම සමනොළ ගිරි සිරස පිළිබඳ සඳහන් කර තිබේ. එහිදී මණි අක්ඛිත නා රජුගේ ඉල්ලීම මත කැලණියට වැඩි බුදුන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනය මත සමනොළ ගිරි හිස මත වාම ශ්‍රී පාදය පිහිටුවූ බව සඳහන් කර ඇත. මහාවංසයේ එසේ සඳහන් වුවද බුද්ධ චරිතය පිළිබඳ කරුණු සඳහන් වන සමන්තපාසාදිකාවේ හා මෙරට ඉතිහාසය පිළිබඳ කරුණු සඳහන් වන දීපවංසයේ සමනොළ කන්දට වැඩි බුදුන් වහන්සේ සිරිපා ලාංඡනය පිහිටුවූ බවක් සඳහන් කර නැත. තවද, හින්දු භක්තිකයන්ගේ මතයට අනුව මෙහි සටහන්ව ඇත්තේ ශිව පාදය වන අතර, ඉස්ලාම් භක්තිකයන්ගේ අදහසට අනුව මෙහි සටහන්ව ඇත්තේ ආදම්ගේ පාදයයි. තවද හනුමාගේ පාදය බවටද ජනප්‍රවාද තිබේ.

බෞද්ධයන්ගේ පිළිගැනීමට අනුව බුදුරදුන් මෙරටට වැඩි ක්‍රිපූ 6 වන සියවසේ සිට වර්තමානය දක්වා පුරා වසර 2600කට ආසන්න කාලයක් බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ මෙරට පැරැණිතම බෞද්ධ උරුමයක් ලෙස ශ්‍රී පාදස්ථානය හැඳින්විය හැකිය.

ශ්‍රී පාදය ගැන සඳහන් මූලාශ්‍රය

ශ්‍රී පාදස්ථානය පිළිබඳ විමසීමේදී වැඩිමනත් සාධක ලැබෙනුයේ මහාවංසයෙනි. ඒ අනුව බුදුන්ගේ ශ්‍රීපාදය පිහිටුවීමෙන් පසු අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ සටහන්ව තිබේ. දුටුගැමුණු රාජ සමයේදී සමන්ගිරෙහි එක්දිනක දානය සඳහා නව සියයක් භික්ෂූන් වූ බව සඳහනි. මහා විජයබා රජු හැල්කෙත් ආදියෙන් සමෘද්ධි වූ ගිලීමලය, දන් වැටුප් කොට සිරිපා වඳින්නන්ගේ ප්‍රයෝජනය සඳහා පිදූ බව සඳහන් වේ. වික්‍රමබාහු රජු කල සමන්කුළු පස්වැසි ජනයන් අය බදු නොගෙවා රජුට ද්‍රෝහිව විසූ බව සඳහන් වේ. මහ පැරකුම්බා රජු කළ කීර්ති සෙනෙවි සමන්ත කූටයෙහි යුද්ධයක් කොට බොහෝ සතුරන් නසා ඇත. දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජු සිව්රඟ සෙනග පිරිවරා සමනොළ ගිරට පැමිණ තිබේ. මහාවංසයේ පමණක් නොව, ශ්‍රී පාද පිළිබඳ තොරතුරු සපයන සෙල්ලිපි මූලාශ්‍රය ගණනාවක්ද වේ. ඉන් එකකි අඹගමු සෙල්ලිපිය. මහ විජයබා රජු පිහිටුවා ඇති මේ ලිපියේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාද පිහිටුවා ඇති බව හා තවත් විස්තරත් ඇතුළත් වේ. ඒ රජුම ගිලීමලයේ පිහිටුවා ඇති තවත් ලිපියක සිරිපා මළුව කරුණා කරන අය වෙනුවෙන් පුදා ඇති ගම්වර පිළිබඳ සඳහන් කර තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් පිහිටුවා ඇති භගවා ලෙන (දිවා ගුහාව) ලිපියෙහි එතුමාගේ දිග්විජය ගැනත්, සිරිපා කරුණා කරන ලද බවත්, ශ්‍රීපාදය වෙනුවෙන් පිරිනමන ලද ප්‍රදානයන් ගැනත් සඳහන් කර ඇත.

සෙල්ලිපි සාධකවලට අමතරව සාහිත්‍ය මූලාශ්‍රය රාශියකම ශ්‍රීපාදස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මනෝරථපූරණිය, සිංහල බෝධිවංශය, සමන්තකූට වර්ණනාව, සමන් සිරිත ඒවාට නිදසුනි. මෙරටින් හමු වන මූලාශ්‍රය පමණක් නොව, විදේශිකයන් විසින් රචිත වාර්තාවන්හි පවා සමන්ගිර පිළිබඳ සඳහන්ව ඇත. ඒ අනුව ක්‍රිපූ 323දී මෙරටට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ පහසුව සඳහා සිරිපා මාවතේ යකඩ දම්වැල් සවි කර තිබේ. ක්‍රිව 412දී මෙරටට පැමිණ චීන ජාතික ෆාහියන් හිමිගේ වාර්තාවේද ශ්‍රීපාදස්ථානය පිළිබඳ සඳහන් කර තිබේ. චීන ජාතික හියුංසාන් ස්වකීය වාර්තාවේද මේ පිළිබඳ සඳහන් කර තිබේ. 13 වන සියවසේදී මෙරටට පැමිණි මාර්කෝ පෝලෝ නම් දේශාටකයාද සමන්ගිර පිළිබඳ සටහන් තබා ඇත. ඊට අමතරව රොබෙයිරෝ, ක්වේරෝස් යන පෘතුගීසි ලේඛකයන්ද, රොබට් නොක්ස්ද, ජෝන් ස්ටීල්, විලියම් ස්කීන් යන පඬිවරුන්ද ශ්‍රී පාදස්ථානය පිළිබඳව සටහන් තබා තිබේ.

සිරිපා වන්දනාව

ශ්‍රීපාද වන්දනාව පිළිබඳ ඉතිහාසය සොයා බලන විට මේ වන්දනාව අනුරාධපුර සමයේදී ආකාර දෙකකින් සිදුව ඇති බව පෙනේ. මෙරට පැරැණිම බෞද්ධ ආරාම වෙත යන ඔබට එම ස්ථානයන්ගේ තිබී දෙපතුල් සටහන් සහිත සතරැස් ගල් පුවරු රාශියක් දැකගත හැකි වේ. මේවා අනුරාධපුරය, මිහින්තලය, අභයගිරිය, රුවන්මැලි සෑය, රජගල, සිතුල්පව්ව, තිස්මහාරාමය, තිරියාය ආදි ස්ථානයන්ගෙන් බහුලව ලැබී තිබේ. මේ සිරිපතුල් ගල්වල උත්තලව පෙනෙන ලෙස – එනම්: ඉහළට එසවී පෙනෙන ආකාරයට – බුදුන්ගේ යටිපතුල් දෙක කැටයම් කර තිබේ. මේ සිරිපතුල්වල දක්වා ඇති ඇඟිලි දිගින් එක සමාන වන අතර, මේවා බුද්ධ ප්‍රතිමාව නිර්මාණයට පෙර අවධියේ බුදුන් සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරනු ලැබීය.

අනෙක් සිරිපතුල් වන්දනාව වන්නේ අවතල හැඩයේ එනම් යටට එබී ගිය ආකාරයේ සිරිපතුල් වන්දනයයි. මිනිසකු මඩ සහිත පොළොවක තදින් පාදය තැබුව හොත් එහි ඔහුගේ පා සලකුණ යටට එබී දිස් වේ. මේ දෙවන ශ්‍රීපාද ලාංඡන වන්දනාව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ස්ථානවල එබී-ගිය පිය සටහන් ලෙස නිර්මාණය වූ ඒවාය.

සමන් ගිරෙහිද එසේ යටට එබී-ගිය සලකුණක් වේ. ක්‍රිව 1 වන සියවසේදී පමණ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීමත් සමග ලංකාවේ ප්‍රකට පැවති සිරිපතුල් වන්දනා සම්ප්‍රදාය අභාවයට ගියේය. එහෙත් ශ්‍රී පාදස්ථානය මුල් කරගත් ඓතිහාසික වන්දනා සම්ප්‍රදාය තවමත් ජීවමානය.

බුදුන් සිරිපා පිහිටුවූයේ සමන්ගිරෙහි පමණද?

බෞද්ධ සාහිත්‍යය ප්‍රකාරව බුදුන් වහන්සේ විසින් ලාංඡනයක් ලෙස තම සිරිපතුල පිහිටුවූයේ සමන් ගිරි සිරසේ පමණක් නොවන බව පැහැදිලි වේ. බෞද්ධයන්ගේ ශ්‍රීපාද වන්දනා ගාථාවට අනුව,

යංනම්මදාය නදියා පුලිනේච තීරේ

යංසච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ

යංතත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං

තංපාද ලාංඡන මහං සිරසා නමාමි

ඒ අනුව බුදුන් වහන්සේ නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත්, සමන්ගිරේත්, යොන් පුරයේත් තම පාද ලාංඡනය පිහිටුවා තිබේ. පූජාවලිය යෝනක පුරය වෙනුවට කැලණි නදී තීරය දක්වා තිබේ. සච්චබද්ධ පර්වතය තායිලන්තයේ පිහිටා ඇති බව සියම් ජාතිකයෝ විශ්වාස කරති. කෙසේ නමුත් බුදුන් වහන්සේ විසින් පිහිටුවන ලද මේ පාද ලාංඡන හතරෙන් පැහැදිලි ලෙසම ස්ථානීය වශයෙන් හඳුනාගෙන ඇත්තේ සමනොළ ගිර පමණි. එහෙත් මෙකරුණ තවත් විවාදයට ලක් කරමින් විද්වතුන් අදහස් දක්වා තිබේ. එනම් සමනොළ කඳු මුදුනත පිහිටුවා ඇති ශ්‍රී පාදය මෙන් වූ බුදුවරුන් පිහිටුවන ලද ශ්‍රීපාද ලාංඡන 10ක් මෙරට ඇති බවයි. එනම්: ශ්‍රී පාදස්ථාන 10ක් ඇති බවයි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන්නේ අනුරාධපුර ථූපාරාමයට නැ‍ඟෙනහිර දෙසින් ශ්‍රී පාද ලාංඡන 4ක් වූ වගයි. සොලී සේනා විසින් ගිනි තබන ලද පද ලාංඡන සහිත චේතිය 4ක් සිව්වන මහින්ද රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බවට මහාවංශයේ එන සඳහනක් උපයෝගි කරගනිමින් ඒ මහතා එම අදහස දක්වා තිබේ. පරණවිතානයන් පෙන්වා දෙන්නේ ථූපාරාමයට නැ‍ඟෙනහිර දෙසින් වූ භූමිය පද ලාංඡන ප්‍රදේශය හෝ පදලස් පෙදෙස ලෙස එකල හඳුන්වා ඇති බවය. මෙහි කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම බුදුන්ගේ ශ්‍රී පාද පිහිටුවා තිබූ බව ඒ මතයේ දැක්වේ.

එකල එම ශ්‍රීපාද මැදි කොට ස්තූප හා ඒවා වටා වටදාගෙවල්ද තනා තිබී ඇත. මහා බෝධිවංශය අනුව මේ සිව් බුදුවරුන් ලක්දිවට වැඩම කොට විවිධ ස්ථානවල විවේක සුවයෙන් වැඩ සිට නැවත ලක්දිවින් දඹදිව බලා පිටත්ව යෑමට අහසට නැග ඇත්තේ ථූපාරාමය අසලිනි.

ක්‍රිව 5වන සියවසේදී අභයගිරි ආරාමයේ වසර තුනක් නැවතී සිටි චීන ජාතික ෆාහියන් හිමි සඳහන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනයක් මැදි කොට අභයගිරි ස්තූපය ගොඩනගා ඇති බව අභයගිරි ආරාමවාසි භික්ෂූන්ගෙන් දැනගත් බවයි.

අභයගිරි ස්තූප මළුවේ තිබී හමු වූ අවතල හැඩයේ සිරිපතුල් ගල් පුවරුවක් වර්තමානයේ අභයගිරිය ෆාහියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එය සමාන වන්නේ සමනොළ ගිරි හිස යටට එබී ගිය සිරිපතුල ලෙස හඳුන්වනු ලබන ස්ථානයට පමණක් වන අතර, ලක්දිව අනෙක් කිසිම ස්ථානයකින් මෙවැනි යටට එබී ගිය සිරිපතුල් ගලක් ලැබී නැත. අභයගිරිය ස්තූපයේ නිදන් කළ ශ්‍රීපාද ලාංඡනය මෙය විය හැකි බව මෙරට ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සිදු කළ මහාචාර්ය මැන්දිස් රෝහණදීර අනුමාන කරයි.

අභයගිරි ස්තූපය කලින් කල ප්‍රතිසංස්කරණය වූ බැවින් එය ඇතුළත නිදන් කර තිබූ මේ ශ්‍රී පාදය ඉන් පිටතට පැමිණෙන්න ඇති බව හෙතෙම විශ්වාස කරයි. එසේම මහාබෝධිවංශයෙන් කරුණු ගෙනහැර දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ මිහින්තලයේද සිව් බුදුවරුන්ගේ ශ්‍රීපාද ලාංඡන හතරක් තිබූ බවයි. මෙසේ බලන විට ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද ලාංඡන දහයක් ඇති බව පෙනී යයි. ඒ, සමනොළ ගිරි මුදුනේ හා අභයගිරියේ එක බැගින්ද, ථූපාරාමය අසල පදලස ප්‍රදේශයේ හතරක්ද, මිහින්තලයේ හතරක්ද ලෙසය.

පළමුව සඳහන් කරන ලද උත්තල ශ්‍රීපාද වන්දනාවේදී එම නිර්මාණය මූර්තියක් ලෙස සැලකීම වඩාත් සුදුසු වේ. ඒවාහි සම දිග ඇඟිලි හා සමතල පතුලක් දක්නට ලැබේ. එනම්: ස්වාභාවික පා සටහනක ලක්ෂණ නැත. එනමුදු දෙවනුව සඳහන් කරන ලද අවතල ශ්‍රී පාද වන්දනාවේදී ස්වාභාවික මිනිස් පිය සටහනක ආකාරයට අසමාන දිගින් යුතු ඇඟිලි කෙළවරද, පතුලේ ඉදිරි කොටස හා විලුඹද ගැඹුරට එබී තිබේ.

සමනොළ ගිරි මුදුනත හා අභයගිරිය කෞතුකාගාරයේ දක්නට ඇත්තේ මේ දෙවන වර්ගයේ ශ්‍රීපාද ලාංඡන වේ. ඒ අනුව ථූපාරාමය අසල ඇති ශ්‍රීපාද ලාංඡන සතර හා මිහින්තලයේ ඇති ශ්‍රීපාද ලාංඡන හතර මේ දෙවන වර්ගයේ අවතල හැඩයේ ශ්‍රීපාද ලාංඡන ලෙස අනුමාන කළ හැකිය.

මේ ස්ථාන දහයෙන් ස්ථාන දෙකක ශ්‍රීපාද ලාංඡන වර්තමානයේද හඳුනාගෙන ඇතත් වන්දනාවට හා ගෞරවයට පාත්‍ර වී ඇත්තේ සමනොළ ගිරි හිස පිහිටුවා ඇති ශ්‍රී පාද ලාංඡනය පමණි.

ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ දැනුමට මේ විස්තරද එකතු කරමින්, සිරිපා කරුණාව ඇරැඹෙන සමයේ ඔවුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනුයේ සමනොළ ගිරිහිසේ ගෞරවයට, ඓතිහාසිකත්වයට, එහි පරිසරයට හා අන්‍ය වන්දනාකරුවන්ට බාධාවක්, හිංසාවක්, හානියක් නොවන ලෙස සිරිපා කරුණා ලෙසය. එවිට ඔබට සමන් දෙවිඳුන්ගේ ඇල්ම-බැල්ම නොඅඩුව ලැබෙනවාට සැක නැත.

අභ­ය­ගිරි ස්තූපය කලින් කල ප්‍රති­සං­ස්ක­ර­ණය වූ බැවින් එය ඇතු­ළත නිදන් කර තිබූ ශ්‍රී පාදය ඉන් පිට­තට
පැමි­ණෙන්න ඇති බව මහා­චාර්ය මැන්දිස් රෝහ­ණ­දීර විශ්වාස කරයි. සොලී සේනා විසින් ගිනි තබන ලද පද ලාංඡන සහිත චෛත්‍ය සත­රක් සිව්වන මහින්ද රජු විසින් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බවට මහා­වං­සයේ එන සඳ­හ­නක් උප­යෝගි කර­ගන්නා
මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන අනු­රා­ධ­පුර ථූපා­රා­ම­යට නැ‍ඟෙන­හි­රින් ශ්‍රී පාද ලාංඡන 4ක් වූ වග සඳ­හන් කරයි. එසේම මහා­බෝ­ධි­වං­ස­යෙන් කරුණු ගෙන­හැර දක්වන මහා­චාර්ය පර­ණ­වි­තාන පව­සන්නේ මිහි­න්ත­ල­යේද සිව් බුදු­ව­රුන්ගේ ශ්‍රීපාද ලාංඡන 4ක් තිබූ බවයි. මෙසේ බලන විට සම­නොළ සිරි­ප­තු­ලත් සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද ලාංඡන දහ­යක් ඇති බව පෙනී යයි.

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *